Friday, 29 October 2021

දකුණු ආසියාතික සමාජය හැඳින්වීම

ලොව පවතින රටවල් සංඛ්‍යමය පහසුව උදෙසා විශේෂිත වූ කලාපයන්ට බෙදීමක් සිදු කරයි. එලෙස බෙදීමකට ලක් කළ එක් කලාපයක් වශයෙන් දකුණු ආසියානු කලාපය හැඳින්විය හැකි වේ. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණයට අනුව ඉන්දියාව ප්‍රධාන පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය, භූතානය සහ වර්තමානයේ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලින් මෙම කලාපය සමන්විත වේ. එහෙයින් ඉන්දීය උප මහද්වීපය ආශ්‍රිත මෙම රටවල් හැඳින්වීම සඳහා මෙලෙස දකුණු ආසියාව යන නම භාවිතා කරයි. විශේෂයෙන්ම මෙම කලාපය දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයට සීමා වන අතර භූමිය ඇති දිශාවෙන්, එනම් බටහිර සිට දක්ෂිණාවර්තව බටහිර ආසියාවට, මධ්‍යම ආසියාවට, නැගෙනහිර ආසියාවට සහ අග්නිදිග ආසියාවට මායිම් වේ. 

 භූගෝලීය වශයෙන් ඉන්දියානු උප මහද්වීපයට අයත් දකුණු ආසියාතික රාජ්‍යයන් ලෝකයේ අනෙකුත් භූ දේශපාලන කලාප (Geo. Political Zones) අතර සුවිශේෂී වූ අනන්‍යතාවයන් සහිත කලාපයක් වශයෙන් හඳුනාගත හැකිය (කමලරත්න, 2017). එසේම මෙම කලාපය ලෝකයේ සෙසු සමාජ අතුරින් සුවිශේෂී වූ සමාජ සංස්කෘතික කලාපයක් ද වේ. විශේෂයෙන්ම දකුණු ආසියා කලාපය මානව ශිෂ්ටාචාර ආරම්භක කාල වකවානු වන ඉන්දු නිම්න ආශ්‍රිත මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය වැනි ඈත අතීතයේ සිට වර්තමානය දක්වා පුළුල් පරාසයක පැතිරී ගිය ඉතිහාසයකට උරුමකම් කීම මෙන්ම, කෘෂිකාර්මික ජීවන රටාවකට, කුල ක්‍රමය හා බැඳි සමාජ ක්‍රමයකට සහ මෙම කලාපයටම ආවේණික වූ වෛද්‍ය ක්‍රමයන් ට උරුමකම් කීම මෙලෙස මෙම කලාපය අනෙකුත් කලාප හා සාපේක්ෂව සුවිශේෂී වීමට හේතු සාධක වී තිබේ. එසේම ලොව අනෙකුත් කලාපයන්ට සාපේක්ෂව විවාහය හා පවුල් සංස්ථා, ආගම, ජනාවාස රටා සහ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ආදිය වෙනස් වූ රූප ගැනීමත්, ලොව ඇති විවිධාකාර කාලගුණික දේශගුණික හා භූ විද්‍යාත්මක ලක්ෂණ සියල්ලන්ම පාහේ මෙම කලාපය තුළ සමන්විත වීම මත ගොඩනැගී ඇති සංස්කෘතික විවිධත්වය සහ සමජාතීය බව ද දකුණු ආසියානු සමාජය සුවිශේෂ වීම සඳහා හේතු වේ. ඒ අනුව දකුණු ආසියානු සමාජය සමාජ මානව විද්‍යාත්මක අතින් ආඪ්‍ය සමාජයක් ලෙස හැඳින්විය හැකි වේ. 

මෙලෙස දකුණු ආසියාතික සමාජය සමාජ මානව විද්‍යාත්මක අතින් පොහොසත් සමාජයක් වීම, මෙම සමාජය පිළිබද අධ්‍යයනය කිරීම සඳහා බොහෝ සමාජ මානව විද්‍යාඥයන් අවධානය යොමු කර තිබීමට බලපෑ සාධකයකි. එක්තරා අතකට දකුණු අසියා සමාජය ද්විත්ව සමාජ සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි සමාජයක් වීම ද මෙලෙස එම අධ්‍යයන වල වැදගත්කම වැඩි කිරීමට හේතු වී ඇති බව පෙන්වා දිය හැක. එහිදී බොහෝ සමාජ මානව විද්‍යාඥයන් දකුණු ආසියානු සමාජය අධ්‍යනය කිරීම යනු සමස්ත ලෝකයම අධ්‍යනය කළා හා සමාන වන බව දක්වයි. මන්දයත් ලෝකය පුරා දක්නට ලැබෙන සෑම ආකාරයකම විවිධතාවයන් දකුණු ආසියාව තුළ දක්නට ලැබීම හේතුවෙනි. (රත්නායක, 1977). 

ඒ අනුව දකුණු ආසියාතික කලාපය භූ දේශපාලනික වශයෙන් මෙන්ම, සමාජ සංස්කෘතික වශයෙන් ලොව අනෙකුත් කලාප අතර කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණ වලින් සමන්විත කලාපයක් වන බව පැහැදිලි වේ. මෙලෙස සුවිශේෂී කලාපයක් වන දකුණු ආසියාතික සමාජය විවිධ කාල කාල වකවානුවල අනේකවිධ බලපෑම්වලට ලක් වීම නිසා නිරන්තරව වෙනස් වෙමින් හා යාවත්කාලීන වෙමින් ඉදිරියට පැමිණ ඇත. 

මෙලෙස දකුණු ආසියාතික සමාජය වෙනස් වීම සඳහා හේතු වූ සාධක රැසක් පිළිබදව ඉදිරි ලිපියකින් අපි සාකච්ඡාවට භාජනය කරමු.

No comments:

Post a Comment

දකුණු ආසියාතික සමාජය හැඳින්වීම

ලොව පවතින රටවල් සංඛ්‍යමය පහසුව උදෙසා විශේෂිත වූ කලාපයන්ට බෙදීමක් සිදු කරයි. එලෙස බෙදීමකට ලක් කළ එක් කලාපයක් වශයෙන් දකුණු ආසියානු කලාපය හැඳ...