Friday, 29 October 2021

දකුණු ආසියාතික සමාජය හැඳින්වීම

ලොව පවතින රටවල් සංඛ්‍යමය පහසුව උදෙසා විශේෂිත වූ කලාපයන්ට බෙදීමක් සිදු කරයි. එලෙස බෙදීමකට ලක් කළ එක් කලාපයක් වශයෙන් දකුණු ආසියානු කලාපය හැඳින්විය හැකි වේ. එක්සත් ජාතීන්ගේ භූ විද්‍යාත්මක ප්‍රදේශ වර්ගීකරණයට අනුව ඉන්දියාව ප්‍රධාන පකිස්ථානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මාලදිවයින, නේපාලය, භූතානය සහ වර්තමානයේ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලින් මෙම කලාපය සමන්විත වේ. එහෙයින් ඉන්දීය උප මහද්වීපය ආශ්‍රිත මෙම රටවල් හැඳින්වීම සඳහා මෙලෙස දකුණු ආසියාව යන නම භාවිතා කරයි. විශේෂයෙන්ම මෙම කලාපය දකුණු දිශාවෙන් ඉන්දීය සාගරයට සීමා වන අතර භූමිය ඇති දිශාවෙන්, එනම් බටහිර සිට දක්ෂිණාවර්තව බටහිර ආසියාවට, මධ්‍යම ආසියාවට, නැගෙනහිර ආසියාවට සහ අග්නිදිග ආසියාවට මායිම් වේ. 

 භූගෝලීය වශයෙන් ඉන්දියානු උප මහද්වීපයට අයත් දකුණු ආසියාතික රාජ්‍යයන් ලෝකයේ අනෙකුත් භූ දේශපාලන කලාප (Geo. Political Zones) අතර සුවිශේෂී වූ අනන්‍යතාවයන් සහිත කලාපයක් වශයෙන් හඳුනාගත හැකිය (කමලරත්න, 2017). එසේම මෙම කලාපය ලෝකයේ සෙසු සමාජ අතුරින් සුවිශේෂී වූ සමාජ සංස්කෘතික කලාපයක් ද වේ. විශේෂයෙන්ම දකුණු ආසියා කලාපය මානව ශිෂ්ටාචාර ආරම්භක කාල වකවානු වන ඉන්දු නිම්න ආශ්‍රිත මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය වැනි ඈත අතීතයේ සිට වර්තමානය දක්වා පුළුල් පරාසයක පැතිරී ගිය ඉතිහාසයකට උරුමකම් කීම මෙන්ම, කෘෂිකාර්මික ජීවන රටාවකට, කුල ක්‍රමය හා බැඳි සමාජ ක්‍රමයකට සහ මෙම කලාපයටම ආවේණික වූ වෛද්‍ය ක්‍රමයන් ට උරුමකම් කීම මෙලෙස මෙම කලාපය අනෙකුත් කලාප හා සාපේක්ෂව සුවිශේෂී වීමට හේතු සාධක වී තිබේ. එසේම ලොව අනෙකුත් කලාපයන්ට සාපේක්ෂව විවාහය හා පවුල් සංස්ථා, ආගම, ජනාවාස රටා සහ කාන්තාවන්ගේ සමාජ තත්ත්වය ආදිය වෙනස් වූ රූප ගැනීමත්, ලොව ඇති විවිධාකාර කාලගුණික දේශගුණික හා භූ විද්‍යාත්මක ලක්ෂණ සියල්ලන්ම පාහේ මෙම කලාපය තුළ සමන්විත වීම මත ගොඩනැගී ඇති සංස්කෘතික විවිධත්වය සහ සමජාතීය බව ද දකුණු ආසියානු සමාජය සුවිශේෂ වීම සඳහා හේතු වේ. ඒ අනුව දකුණු ආසියානු සමාජය සමාජ මානව විද්‍යාත්මක අතින් ආඪ්‍ය සමාජයක් ලෙස හැඳින්විය හැකි වේ. 

මෙලෙස දකුණු ආසියාතික සමාජය සමාජ මානව විද්‍යාත්මක අතින් පොහොසත් සමාජයක් වීම, මෙම සමාජය පිළිබද අධ්‍යයනය කිරීම සඳහා බොහෝ සමාජ මානව විද්‍යාඥයන් අවධානය යොමු කර තිබීමට බලපෑ සාධකයකි. එක්තරා අතකට දකුණු අසියා සමාජය ද්විත්ව සමාජ සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි සමාජයක් වීම ද මෙලෙස එම අධ්‍යයන වල වැදගත්කම වැඩි කිරීමට හේතු වී ඇති බව පෙන්වා දිය හැක. එහිදී බොහෝ සමාජ මානව විද්‍යාඥයන් දකුණු ආසියානු සමාජය අධ්‍යනය කිරීම යනු සමස්ත ලෝකයම අධ්‍යනය කළා හා සමාන වන බව දක්වයි. මන්දයත් ලෝකය පුරා දක්නට ලැබෙන සෑම ආකාරයකම විවිධතාවයන් දකුණු ආසියාව තුළ දක්නට ලැබීම හේතුවෙනි. (රත්නායක, 1977). 

ඒ අනුව දකුණු ආසියාතික කලාපය භූ දේශපාලනික වශයෙන් මෙන්ම, සමාජ සංස්කෘතික වශයෙන් ලොව අනෙකුත් කලාප අතර කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණ වලින් සමන්විත කලාපයක් වන බව පැහැදිලි වේ. මෙලෙස සුවිශේෂී කලාපයක් වන දකුණු ආසියාතික සමාජය විවිධ කාල කාල වකවානුවල අනේකවිධ බලපෑම්වලට ලක් වීම නිසා නිරන්තරව වෙනස් වෙමින් හා යාවත්කාලීන වෙමින් ඉදිරියට පැමිණ ඇත. 

මෙලෙස දකුණු ආසියාතික සමාජය වෙනස් වීම සඳහා හේතු වූ සාධක රැසක් පිළිබදව ඉදිරි ලිපියකින් අපි සාකච්ඡාවට භාජනය කරමු.

Thursday, 21 October 2021

මිචෙල් ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය සම්බන්ධ ස්වයං මතය

සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුල පවතින න්‍යායික මතවාද  පිළිබඳ සාකච්ඡා කිරීමේදී සම්භාව්‍ය සමාජ විද්‍යා න්‍යායන්, නූතන සමාජ විද්‍යා න්‍යායන්, පශ්චාත් නූතන සමාජ විද්‍යා න්‍යායන්,පශ්චාත් පශ්චාත් නූතන සමාජ විද්‍යා න්‍යායන් සහ විසි එක්වන සියවසේ සමාජ විද්‍යා න්‍යායන් ආදී වශයෙන් වර්ග කර දැක්විය හැකි වේ. එහිදී පශ්චාත් නූතන සමාජ විද්‍යා න්‍යායික මතවාදයන් වශයෙන් සමාජීය විද්‍යා න්‍යායක සහ දාර්ශනික කතිකාවේ දී ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු වන මිචෙල්  ෆූකෝගේ (Michel Foucault) න්‍යායික මතවාදයක් වැදගත් වේ. ඔහු ඉදිරිපත් කර ඇති මතවාදයන් අතුරින් දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය (Theory of Knowledge and Power) ප්‍රමුඛ වේ. මෙම මතවාදය  සමස්ත පශ්චාත්-නූතන පරම්පරාවටම බලපෑම් එල්ල කිරීමට සමත් ව පැවතීම මෙලෙස ප්‍රමුඛ වීමට හේතු වී තිබේ .

 

මිචෙල් ෆූකෝ (Michel Foucault)
1926-1984

ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික විග්‍රහය පිළිබඳ සලකා බලන කළ දැනුම තුළින් සමාජය තුළ බලයක් ගොඩනැගෙන ආකාරය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ. එහිදී දැනුම විසින් බලයක් නිර්මාණය කරන අතර බලය තුළින් දැනුමේ ස්වභාවය ප්‍රතිනිර්මාණය වනු ලබන බව හුවා දක්වයි. ඒ අනුව දැනුම එක්තරා ආකාරයකට බලය භාවිත උපක්‍රමයක් වශයෙන් ක්‍රියාත්මක වන ස්වරූපයක් මෙම මතවාදය තුළින් අවධාරණය කෙරේ. 

නිදර්ශනයක් වශයෙන් ශ්‍රී ලංකා සමාජය තුළ වෛද්‍යවරුන් සතු ඥානය මත ඔවුන් සමාජය තුළ එක්තරා ආකාරයකට බලයක් ගොඩනගා ගෙන පැවතීම දැක්විය හැකි ය. එසේම දැනුම සහිත කණ්ඩායම් අවසාන විග්‍රහයේ දී ආධිපත්‍යවාදී කණ්ඩායමක් බවට පත් වනු ලබන බවත්, ඒ හරහා දැනුම පාදක බලය භාවිත කොට කිසියම් කණ්ඩායමක් පාලනය කරනු ලබන තත්ත්වයකට පත්වන ආකාරයත් මෙකී මතවාදය තුළින් අවධාරණය කිරීමට උත්සහ දරා තිබේ. එහිදී ෆූකෝ, දැනුම පාදක කණ්ඩායම් විසින් යම් කණ්ඩායමක් පාලනය කිරීම සම්බන්ධ සාධාරණීකරණයක් අවිඥානිකව මිනිසා තුළ වර්ධනය වන බවත්, එකී බල ඥාන ව්‍යාප්තිය නිසා මිනිසාට කළ හැකි බොහෝ දේවල් මගහැරී යමින්, නිදහස ද සීමා කරනු ලබන බවක් මෙමගින් තවදුරටත් හුවා දැක්වීමට උත්සාහ දරා ඇත. 

ඒ අනුව  ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය සම්බන්ධ යම් සත්‍යතාවක් පවතිනු ලබන බව නිර්ණය කළ හැකි වේ. උදාහරණයක් ලෙස සංවර්ධනය යනු එවැනි බල ඥාන ව්‍යාප්තියකට අයත් මහා කතිකාවකි. 

මෙම මතවාදය සම්බන්ධ යම් යම් පරස්පරතා පවතින නමුත්, සමස්තයක් වශයෙන් ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය ප්‍රායෝගික සමාජය යථාර්ථවත්ව තේරුම් ගැනීමට ඉවහල් වනු ලැබේ.


දකුණු ආසියාතික සමාජය හැඳින්වීම

ලොව පවතින රටවල් සංඛ්‍යමය පහසුව උදෙසා විශේෂිත වූ කලාපයන්ට බෙදීමක් සිදු කරයි. එලෙස බෙදීමකට ලක් කළ එක් කලාපයක් වශයෙන් දකුණු ආසියානු කලාපය හැඳ...